Tuesday, December 15, 2015

කිංසුකොපම සූත්‍රය

කිංසුකොපම සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

ඉක්බිති එක්තරා භික්‍ෂුවක්, තවත් එක්තරා භික්‍ෂුවක් යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවට ,ඇවැත්නි, භික්‍ෂුවගේ දැකීම කොපමණකින් පිරිසිදු වූවක් වේදැයි, ඇසුවේය.

ඇවැත්නි යම් තැනක පටන් මහණතෙම ස්පර්‍ශායතන සයදෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය (සෝවාන් මාර්‍ගය) පිරිසිදු වූයේයයිකීය.

ඉක්බිති භික්‍ෂුතෙම ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූයේ තවත් භික්‍ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවගෙන් ,ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේදැයි, ඇසීය.

’’ඇවැත්නි, යම් කාලයක පටන් භික්‍ෂුව උපාදානස්කන්‍ධ පස්දෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, එපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේයයි, කීය.

ඉක්බිති ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූ භික්‍ෂුතෙම අනෙක් එක්තරා භික්‍ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ,ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේදැයි, ඒ භික්‍ෂුවගෙන් ඇසීය.

’’ඇවැත්නි, යම් තැනක පටන් භික්‍ෂුව සතර මහා භූතයන්ගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, කීය.

ඉක්බිති ඒ මහණතෙම ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව අනෙක් එක්තරා භික්‍ෂුවක් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ,ඇවැත්නි, භික්‍ෂුවගේ දර්‍ශනය කොපමණකින් පිරිසිදු වේදැයි, ඇසීය.

’’ඇවැත්නි, භික්‍ෂුව යම් තැනක පටන් ඉපදීම ස්වභාව කොට ඇති යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දනීනම් ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, ඒ භික්‍ෂුව කීයේය.

ඉක්බිති ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුව බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළේය. ,සවාමීනි, මම මෙහි එක්තරා භික්‍ෂුවක් කරා පැමිණියෙමි. පැමිණ, ‘ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේදැයි ඒ භික්‍ෂුවගෙන් ඇසුවෙමි. සවාමීනි, මෙසේ කල්හි ඒ භික්‍ෂුතෙම ,ඇවැත්නි යම් තැනක පටන් භික්‍ෂුතෙම ස්පර්‍ශායතන සයදෙනාගේ ඇතිවීමත් නැතිවීමත් තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, මට කීයේය………………

’’මහණ, යම්සේ (එරබදු) කෑලමල් නුදුටු පුරුෂයෙක්වේද, ඔහු කෑල ගසක් දුටු පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයිඔහුගෙන් අසන්නේය. පින්වත් පුරුෂය, කෑල ගස දැවුණු කණුවක්සේ කළුයයිකියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑලගස එබඳුය.

’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඒ පුරුෂයාගේ පිළිතුරෙන් නොසතුටුව කෑල ගසක් දුටු අනික් පුරුෂයෙක් යම් තැනකද එතැනට පැමිණෙන්නේය. පැමිණ ඒ පුරුෂයාගෙන් කෑලගස කෙබඳුදැයි අසන්නේය. හෙතෙම එම්බා පුරුෂය, මස් වැදැල්ලක් යම්සේද කෑලගස එසේ ලේ පාටයයි කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, එකල්හි කෑලගස එබඳුය.

’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඔහුගේ පැණ විසඳීමෙන් නොසතුටුව කෑල ගසක් දුටු අනික් පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයිඅසන්නේය. හෙතෙම පින්වත් පුරුෂය, කෑලගස ඉරිතලා ගිය මාර ගසක් බඳුයයිකියන්නේය. මහණ, ඒ අවස්ථාවෙහි ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑල ගස එබඳුය.

’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඒ පුරුෂයාගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව කෑල ගස් දුටු අනික් පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයිඒ පුරුෂයාගෙන් අසන්නේය. එම්බල පුරුෂය, ඝණව වැඩුණු කොළ සහ දළු ඇති සිහිල් සෙවනැති නුග ගසක් යම්සේද කෑලගස එවැනියයිකියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, එකල්හි කෑලගසත් එබඳුය. මහණ, එසේම යම් යම් අවබොධ කරණ ලද ඒ පුරුෂයන්ගේ දැකීම පිරිසිදු වූයේවේද ඒ ඒ ආකාරයෙන් ඒ ඒ සත්පුරුෂයන් විසින් තොපට ප්‍රකාශ කරණ ලදී.

’’මහණ, දැඩිවූ රැකවල් ඇති ශක්තිමත් ප්‍රාකාර තොරන් ඇති, දොරටු සයක් ඇති, රජුගේ ප්‍රත්‍යන්ත නගරයක් වෙයි. එහි පණ්ඩිතවූ ව්‍යක්තවූ ඤාණවන්තවූ නොහඳුනන්නන් වලක්වන්නාවූ හඳුනන්නන් ඇතුල්කරවන්නාවූ දොරටුපාලයෙක් වේද, ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පෙරදිගින් පැමිණ ඒ දොරටුපාලයාට එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයිඅසන්නේය. ස්වාමීනි, හෙතෙම මැද සතරමං හන්දියෙහි හිඳින්නේයයිකියන්නේය. ඉක්බිති ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.

’’පශ්චිම දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ මේ දොරටුපාලයාට එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයිඅසන්නේය. ස්වාමීනි, හෙතෙම මැද සතරමංහන්දියෙහි හිඳින්නේයයිකියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.

’’උතුරු දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ, මේ දොරටුපාලයාට එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයිඅසන්නේය. ස්වාමීනි, හෙතෙම මැද සතරමංහන්දියෙහි හිඳින්නේයයිකියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.

’’දකුණු දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ එම්බා පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයිඒ දොරටුපාලයාගෙන් අසන්නේය. ස්වාමීනි, හෙතෙම නුවර මැද සතරමංසන්දියෙහි හිඳින්නේයයිකියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.


’’මහණ, මේ මා විසින් අර්‍ථය අවබොධ කරවීම පිණිස උපමාවක් කරණ ලදී. මේ එහි අදහසයි. මහණ, නගරය යනු මව්පිය ශුක්‍රශ්‍රොණිතයෙන් හටගත් බත් කොමුපිඬු ආදියෙන් වැඩුණු අනිත්‍යවූ නෑම පිරිමැදීම බිඳීම විනාශය ස්වභාව කොට ඇති, සතරමහා භූතයන්ගෙන් හටගත් ශරීරයට නමකි. මහණ, දොරටු සය යනු අධ්‍යාත්මික ආයතන සයදෙනාට නමකි. මහණ, දොරටුපාලයා යනු මේ සිහියට නමකි. ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනා යනු මේ සමථ විදර්‍ශනා දෙකට නමකි. මහණ, නගර ස්වාමියා යනු විඥානයට නමකි. මහණ, නුවර මැද සතරමංසංදි යනු පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහා භූතයන්ට නමකි. මහණ, තත්වූ පරිදි වචනය යනු නිර්‍වාණයට නමකි. පැමිණි මාර්‍ගය යනු සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කනර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය සහ සම්‍යක් සමාධිය යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයට නමකි.,