Tuesday, August 25, 2015

කලහවිවාද සූත්‍රය







කලහවිවාද සූත්‍රය

පෘච්ඡා:01. කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්හු ද? පරිදේව ශොකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මානඅභිමානයෝත් පිසිනුබසුත් යන මොහු අටදෙන කොතැනින් ප්‍ර‍භූත වූහු ද? එඅරුත වදාළ මැනව.

විසර්ජන: කලහයෝත් විවාදයෝත් පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මාන-අතිමානයෝත් පෛශූන්‍යයෝත් (යන මොහු අටදෙනා) ප්‍රියවස්තූහු කෙරෙන් උපන්හ. කලහවිවාදයෝ ද (පරිදෙව-ශෝක-මාන අතිමාන පෛශූන්‍ය යෝ ද) මාත්සර්‍ය්‍යය හා යෙදුනාහු වෙත්, විවාද උපදුත් ම පිසුන් බස් උපදනේ ය.

පෘච්ඡා:02.  ලෝකයෙහි ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද? නොහොත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? ලොව්හි ක්ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභයෙන් හැසිරෙත් නම් එ ලොභය කුමක් නිදාන කොට ඇත් ද? ආශාවත් එහි සමෘද්ධියත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? මනුෂ්‍යයාට යම් ධර්ම කෙනෙක් පරලොව්හි පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්මයෝ කොයින් උපන්හු ද?

විසර්ජන: ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්දය නිදාන කොට ඇත. යම් ක්ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසෘමෘධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති.

පෘච්ඡා:03.  ලෝකයෙහි කාමච්ඡන්‍දය කුමක් නිදාන කොට ඇතියේ ද? තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චයයෝ හෝ කොතැනින් උපන්නාහු ද? ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධශ්‍ර‍මණයන් වහන්සේ විසින් දෙසන ලද යම් අකුශල ධර්මයෝ හෝ වෙත් නම් ඔහු කොතැනින් උපන්නාහු ද?

විසර්ජන: ලොව්හි සුව යයි ද දුකැයි ද යමක් කියත් නම් එ සාත-අසාත වෙදනා නිසා කාමච්ඡන්‍දය උපදනේ ය. ලොකයෙහි සත්ත්ව තෙමේ භූතොපාදාය රූපයන්හි විනාශයත් උදයත් දැක තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චය කරන්නේ යි.
ක්‍රෝධය හා මෘෂාවාදය හා විචිකිච්ඡා හා යන මේ ධර්මයෝත් සාතාසාතවෙදනා දෙක ඇතිවත් ම වෙත්. විචිකිච්ඡායෙන් යුක්ත පුද්ගල තෙමේ ඥානදර්ශනඥානාධිගමය සඳහා ත්‍රිවිධශික්ෂාහි හික්මෙන්නේ ය. බුද්ධශ්‍ර‍මණයන් වහන්සේ විසින් අනිත්‍යාදි විසින් දැන ධර්මයෝ දෙසන ලදහ.

පෘච්ඡා:04.  සුඛවෙදනා දුඃඛවෙදනා යන මොහු කුමකින් උපදනාහු ද? කුමක් නැතිවත්ම මොහු නූපදනාහු ද? යළි ඒ සාතාසාතයන්ගේ විනාශය හා උපත යන යම් අර්ථයෙක් යමෙකින් වේ නම්, ඔවුන්ගේ තෙල කාරණය මට ප්‍ර‍කාශ කළ මැනැව.

විසර්ජන: සුඛවෙදනා දුඃඛවෙදනා හා ස්පර්ශය නිදාන කොට ඇත. ස්පර්ශය නැතිවත් ම තෙල සාතාසාතයෝ නූපදනාහ. සාතාසාතයන්ගේ විනාශය හා උදය හා යන යම් අර්ථයෙක් මෙ පහස කරුණු කොට උපදනේ නම් තෙල අරුත් තොපට කියමි.

පෘච්ඡා:05.  ලොව්හි ස්පර්ශය කුමක් නිදාන කොට ඇත් ද? තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍ර‍යෝත් කොයින් ප්‍ර‍භූත වූ හු ද? කුමක් අවිද්‍යමාන කල්හි මමත්‍වය නැති ද? කුමක් ඉක්මැ යත් ම ස්පර්ශයෝ නො පහස්නාහු ද?

විසර්ජන:සම්ප්‍ර‍‍යුක්ත නාමය හා වස්ත්‍වාලම්බනරූපය හා නිසා ස්පර්ශයෝ උපදනාහ. තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍ර‍හයෝ ඉච්ඡාව නිදාන කොට ඇත්තාහ. ඉච්ඡාව නැති වත් ම මමත්‍වය නැත රූපය ඉක්මැ යත්ම ස්පර්ශයෝ නො පහස්නාහ.

පෘච්ඡා:06.  කිසෙයින් පිළිපන්නහුට රූපය නො වේ ද? සුඛදුඃඛ හෝ කෙසේ නොවේ ද? තෙල රූප-සුඛ දුඃඛ යන තුණ යමෙසේ නොවේ නම් එ පරිදි මට වදාළ මැනැව. එය දනුම්හයි මට සිතෙක් වී.

විසර්ජන:

 සඤ්ඤසඤ්ඤී  විසඤ්ඤසඤ්ඤී
නොපි අසඤ්ඤී  විභූත සඤ්ඤී
එවං සමේතස්ස විභොති රූපං
සඤ්ඤා නිදානා හි පපඤ්ච සංඛා

හේ ප්‍ර‍කෘතිසංඥායෙන් සංඥා ඇතියේ නො වෙයි. විකෘතසංඥායෙන් විසංඥා ද නො වෙයි. සංඥා විරහිත ද නො වෙයි. ඉක්මැ වූ සංඥා ඇතියේ ද නො වෙයි. මෙසෙයින් පිළිපන්නහුට රූපය නො වෙයි. තෘෂ්ණාදී ප්‍ර‍පඤ්ච සංඥා නිදාන කොට ඇති හෙයිනි.

පෘච්ඡා:07. අපි යමක් විචාළමෝ නම් එය අපට දෙසූහ. ඔබ ගෙන් අනෙක් කරුණකුදු විචාරම්හ. එ ද ඒකාන්තයෙන් වදාළ මැනැව. මෙ ලොව්හි පණ්ඩිතමානී ඇතැම් මහණබමුණු කෙනෙක් මෙ අරූපසමාපත්තිමාත්‍රයෙන් මැ සත්‍වයාගේ අග්‍ර‍ ශුද්ධියක් කියත් දැ? යි.

විසර්ජන: මෙ ලෝකයෙහි පණ්ඩිතමානී ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙ අරූපසමාපත්ති මාත්‍රයෙනුදු සත්වයාගේ අග්‍ර‍ වූ ශුද්ධිය කියත් මැ යි ඔවුනතුරෙන් ඇතැමෙක් අනුපාදිශේෂයෙහි පණ්ඩිතවාද ඇත්තාහු උච්ඡේද ශුද්ධිය කියත්.

තවද තෙල දෘෂ්ටිගතිකයන් ශාශ්වතොච්ඡෙදදෘෂ්ටි ඇසුරුකළාහුයි දැන පණ්ඩිත බුද්ධමුනි තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍ර‍යන් දැන දුඃඛ අනිත්‍යාදි විසින් ධර්මයත් දැන අනුපාදාවිමෝක්ෂයෙන් මිදුනේ විරුද්ධවාදයට නො එළඹෙයි, එ ධීර තෙම පුන පුනා භවයට නො පැමිණේ යි.



කලහවිවාද සූත්‍ර‍ය නිමි.
(ඛුද්දකනිකාය -සුත්තනිපාතය  -අට්‌ඨක වර්ගය) 


No comments:

Post a Comment