Wednesday, November 11, 2015

සබ්බාසව සූත්‍රය




2015-11-10 දින මාලඹේ සූසිලාරාමයේ සබ්බාසව සුත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම දෙශණාව හා ධර්ම සාකච්චාව.








සබ්බාසව සූත්‍රය
මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්‍ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්‍ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.

මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.

1. ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

2.මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්ෂුන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්ෂුන්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්ෂුන්ද්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශෝතෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… නුවණින් සලකා ඝ්‍රාණෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… ජිව්හෙන්ද්‍රියසංවරයෙන්… කායෙන්ද්‍රිය සංවරයෙන්… මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.

3.මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලජ්ජාස්ථාන වසා ගැන්ම පිණිස පමණක් සිවුරු පරිභොග කෙරෙ යි. නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැදීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලංකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. බඩගිනි වැළැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩගිනි වෙදනාවන් නැති කරන්නෙමි. අලුත් වෙදනා ද නූපදවන්නෙමි. එයින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ යි (සලකා පිණ්ඩපාතය වළඳයි). හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණය නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ඍතුපීඩා නැති කිරීම පිණිස විවෙකයෙහි ඇලීම් පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සෙවනය කරයි. හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වෙදනා නැති කිරීම පිණිස, රොග දුක් නැති ව සිටීම පිණිස පමණක් සෙවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සෙවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රත්‍යවෙක්ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, ප්‍රත්‍යවෙක්ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ ප්‍රත්‍යවෙක්ෂාවෙන් පහ කළ යුත්තෝය යි කියනු ලැබෙත්.


4.මහණෙනි, අධිවාසනායෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩගින්න ද, පවස ද, මැසි, මදුරු, සුළං, අවු, සපුන්ගේ ස්පර්ශ ද, නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපන් ශාරීරික වූ, තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වෙදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ නූපදිත්. මහණෙනි, මේ අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

5. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙ යි. නපුරු අසු දුරු කෙරෙ යි. නපුරු ගොනු දුරු කෙරෙ යි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවයින්, ගවරවළ, මොළඟ දුරු කෙරෙයි. යම් බඳු නුසුදුසු අස්නෙහි හුන්නහු, යම්බඳු නුසුදුසු තන්හි හැසිරෙන්නහු, යම්බඳු පවිටු මිත්‍රයන් සෙවනය කරන්නහු නුවණැත්තා වූ සබ්‍රම්සරහු ලාමක තන්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගොචාරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙ යි. මහණෙනි, යම් හෙයෙකින් එබඳු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

6.මහණෙනි, විනොදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්යයෙන්) පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ලොකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමවිතර්කය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුව යි. උපන්නා වූ ව්‍යාපාදවිතර්ක සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතර්කය...උපනුපන් ලාමක අකුශල ධර්මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ විනොදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

7.මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු සතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… නුවණින් සලකා ධම්මවිචය සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… විරියසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පීතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… පස්සද්ධි සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි… සමාධිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ නිවණට නැඹුරු උපෙක්ඛා සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. මහණෙනි, යම් හෙයෙකින් බොජ්‌ඣඞ්‌ග නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොජ්‌ඣඞ්‌ග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

Saturday, October 3, 2015

ගුවන්විදුලි ධර්මදෙශණා


Wesunu Niwandora Viwara Kara Ganimu.pdf



පුජ්‍ය එල්ලලාවල විජිතනන්ද  හිමියන් පවත්වන ධර්මදෙශණා මාලාවක්
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ  වෙළදසේවය මගින් ප්‍රචාරය කීරීමට සැලසුම් කර තිබේ.

2015-10-03 සෙනසුරාදා සිට සෙනසුරාදා දින 10 ක් සවස 6 සිට 7

දක්වා ප්‍රචාරයවේ.



2015-10-03 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-01


2015-10-10 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-02


2015-10-17 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-03


2015-10-24 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-04

2015-10-31 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-05


2015-11-07 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-06

2015-11-14 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-07

2015-11-21 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-08



2015-11-28 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-09

2015-12-05 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-10

2015-12-12 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-11

2015-12-19 දින පැවැත්වු දෙශණාව.   දෙශණා අංක-12





2015-12-17  දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්දෙශිය සේවයේ ප්‍රචාරයවු ධර්මදෙශණය
සබ්බපාපස්ස අකරණං, 
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියොදපනං 

එතං බුද්ධාන සාසනං.        ධර්මදෙශණාව






(තෙමාව යටතේ 2015 වප් පෝය දින සවස7  සිට 8 දක්වා සිදුකල ධර්මදෙශණාව)

Tuesday, August 25, 2015

කලහවිවාද සූත්‍රය







කලහවිවාද සූත්‍රය

පෘච්ඡා:01. කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්හු ද? පරිදේව ශොකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මානඅභිමානයෝත් පිසිනුබසුත් යන මොහු අටදෙන කොතැනින් ප්‍ර‍භූත වූහු ද? එඅරුත වදාළ මැනව.

විසර්ජන: කලහයෝත් විවාදයෝත් පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මාන-අතිමානයෝත් පෛශූන්‍යයෝත් (යන මොහු අටදෙනා) ප්‍රියවස්තූහු කෙරෙන් උපන්හ. කලහවිවාදයෝ ද (පරිදෙව-ශෝක-මාන අතිමාන පෛශූන්‍ය යෝ ද) මාත්සර්‍ය්‍යය හා යෙදුනාහු වෙත්, විවාද උපදුත් ම පිසුන් බස් උපදනේ ය.

පෘච්ඡා:02.  ලෝකයෙහි ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද? නොහොත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? ලොව්හි ක්ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභයෙන් හැසිරෙත් නම් එ ලොභය කුමක් නිදාන කොට ඇත් ද? ආශාවත් එහි සමෘද්ධියත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? මනුෂ්‍යයාට යම් ධර්ම කෙනෙක් පරලොව්හි පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්මයෝ කොයින් උපන්හු ද?

විසර්ජන: ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්දය නිදාන කොට ඇත. යම් ක්ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසෘමෘධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති.

පෘච්ඡා:03.  ලෝකයෙහි කාමච්ඡන්‍දය කුමක් නිදාන කොට ඇතියේ ද? තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චයයෝ හෝ කොතැනින් උපන්නාහු ද? ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධශ්‍ර‍මණයන් වහන්සේ විසින් දෙසන ලද යම් අකුශල ධර්මයෝ හෝ වෙත් නම් ඔහු කොතැනින් උපන්නාහු ද?

විසර්ජන: ලොව්හි සුව යයි ද දුකැයි ද යමක් කියත් නම් එ සාත-අසාත වෙදනා නිසා කාමච්ඡන්‍දය උපදනේ ය. ලොකයෙහි සත්ත්ව තෙමේ භූතොපාදාය රූපයන්හි විනාශයත් උදයත් දැක තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චය කරන්නේ යි.
ක්‍රෝධය හා මෘෂාවාදය හා විචිකිච්ඡා හා යන මේ ධර්මයෝත් සාතාසාතවෙදනා දෙක ඇතිවත් ම වෙත්. විචිකිච්ඡායෙන් යුක්ත පුද්ගල තෙමේ ඥානදර්ශනඥානාධිගමය සඳහා ත්‍රිවිධශික්ෂාහි හික්මෙන්නේ ය. බුද්ධශ්‍ර‍මණයන් වහන්සේ විසින් අනිත්‍යාදි විසින් දැන ධර්මයෝ දෙසන ලදහ.

පෘච්ඡා:04.  සුඛවෙදනා දුඃඛවෙදනා යන මොහු කුමකින් උපදනාහු ද? කුමක් නැතිවත්ම මොහු නූපදනාහු ද? යළි ඒ සාතාසාතයන්ගේ විනාශය හා උපත යන යම් අර්ථයෙක් යමෙකින් වේ නම්, ඔවුන්ගේ තෙල කාරණය මට ප්‍ර‍කාශ කළ මැනැව.

විසර්ජන: සුඛවෙදනා දුඃඛවෙදනා හා ස්පර්ශය නිදාන කොට ඇත. ස්පර්ශය නැතිවත් ම තෙල සාතාසාතයෝ නූපදනාහ. සාතාසාතයන්ගේ විනාශය හා උදය හා යන යම් අර්ථයෙක් මෙ පහස කරුණු කොට උපදනේ නම් තෙල අරුත් තොපට කියමි.

පෘච්ඡා:05.  ලොව්හි ස්පර්ශය කුමක් නිදාන කොට ඇත් ද? තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍ර‍යෝත් කොයින් ප්‍ර‍භූත වූ හු ද? කුමක් අවිද්‍යමාන කල්හි මමත්‍වය නැති ද? කුමක් ඉක්මැ යත් ම ස්පර්ශයෝ නො පහස්නාහු ද?

විසර්ජන:සම්ප්‍ර‍‍යුක්ත නාමය හා වස්ත්‍වාලම්බනරූපය හා නිසා ස්පර්ශයෝ උපදනාහ. තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍ර‍හයෝ ඉච්ඡාව නිදාන කොට ඇත්තාහ. ඉච්ඡාව නැති වත් ම මමත්‍වය නැත රූපය ඉක්මැ යත්ම ස්පර්ශයෝ නො පහස්නාහ.

පෘච්ඡා:06.  කිසෙයින් පිළිපන්නහුට රූපය නො වේ ද? සුඛදුඃඛ හෝ කෙසේ නොවේ ද? තෙල රූප-සුඛ දුඃඛ යන තුණ යමෙසේ නොවේ නම් එ පරිදි මට වදාළ මැනැව. එය දනුම්හ‘යි මට සිතෙක් වී.

විසර්ජන:

න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී
නොපි අසඤ්ඤී න විභූත සඤ්ඤී
එවං සමේතස්ස විභොති රූපං
සඤ්ඤා නිදානා හි පපඤ්ච සංඛා

හේ ප්‍ර‍කෘතිසංඥායෙන් සංඥා ඇතියේ නො වෙයි. විකෘතසංඥායෙන් විසංඥා ද නො වෙයි. සංඥා විරහිත ද නො වෙයි. ඉක්මැ වූ සංඥා ඇතියේ ද නො වෙයි. මෙසෙයින් පිළිපන්නහුට රූපය නො වෙයි. තෘෂ්ණාදී ප්‍ර‍පඤ්ච සංඥා නිදාන කොට ඇති හෙයිනි.

පෘච්ඡා:07. අපි යමක් විචාළමෝ නම් එය අපට දෙසූහ. ඔබ ගෙන් අනෙක් කරුණකුදු විචාරම්හ. එ ද ඒකාන්තයෙන් වදාළ මැනැව. මෙ ලොව්හි පණ්ඩිතමානී ඇතැම් මහණබමුණු කෙනෙක් මෙ අරූපසමාපත්තිමාත්‍රයෙන් මැ සත්‍වයාගේ අග්‍ර‍ ශුද්ධියක් කියත් දැ? යි.

විසර්ජන: මෙ ලෝකයෙහි පණ්ඩිතමානී ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙ අරූපසමාපත්ති මාත්‍රයෙනුදු සත්වයාගේ අග්‍ර‍ වූ ශුද්ධිය කියත් මැ යි ඔවුනතුරෙන් ඇතැමෙක් අනුපාදිශේෂයෙහි පණ්ඩිතවාද ඇත්තාහු උච්ඡේද ශුද්ධිය කියත්.

තවද තෙල දෘෂ්ටිගතිකයන් ශාශ්වතොච්ඡෙදදෘෂ්ටි ඇසුරුකළාහු’යි දැන පණ්ඩිත බුද්ධමුනි තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍ර‍යන් දැන දුඃඛ අනිත්‍යාදි විසින් ධර්මයත් දැන අනුපාදාවිමෝක්ෂයෙන් මිදුනේ විරුද්ධවාදයට නො එළඹෙයි, එ ධීර තෙම පුන පුනා භවයට නො පැමිණේ යි.



කලහවිවාද සූත්‍ර‍ය නිමි.
(ඛුද්දකනිකාය -සුත්තනිපාතය  -අට්‌ඨක වර්ගය)