Thursday, July 14, 2016

අවිජ්ජාපුරිමකොටි සූත්‍රය

2016-08-02 දින පානදුර වැලිපිටිය විහාරස්ථානයේ පැවැත්වූ දෙශණාව

දෙශණා -01

දෙශණා -02

දෙශණා -03

2016-07-31 සුගත දස්සිනාරාමය විහාරස්ථානයේදී පැවැත්වූ දෙශණාව



දෙශණා -01

දෙශණා -02

දෙශණා -03

2016-07-12 දින මාළඹේ සුසිලාරාමයේ  පැවැත්වූ ධර්ම දෙශණාව








අවිජ්ජාපුරිමකොටි සූත්‍රය (අවිජ්ජාසුත්තං)
මහණෙනි, ’මින් පෙර අවිද්‍යාව (නොදැනීම) නොවූයේය. නැවත පසුව පහළවූයේයයි අවිද්‍යාවගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි, එය මෙසේ කියනු ලැබේ. එසේද වුවත් මෙය ප්‍රත්‍යයක් කොට ඇත්තේයයි පෙනේ. මහණෙනි, මම අවිද්‍යාවද ආහාර සහිතයයි කියමි. ආහාර නැතැයි නොකියමි.
අවිද්‍යාවගේ ආහාරය කවරේද? එයට පංච නීවරණයෝයයි කිව යුතුය. මහණෙනි, මම නීවරණ පසද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. පඤ්ච නීවරණයණ්ට ආහාරය කවරේද, එයට ත්‍රිවිධ දුශ්චරිතයෝයයි කිව යුතුය. ආහාර සහිතවූ, ආහාර රහිත නොවූ, ත්‍රිවිධ දුශ්චරිතයන්ද කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ට ආහාරය කවරේද? එයට ඉන්‍ද්‍රිය අසංවරයයි කිව යුතුය.
මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය අසංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව නොදැනීමයයි කිව යුතුය. මහණෙනි, මම සිහිය හා මනාව නොදැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අසිහියට හෝ මනාව නොදැනීමට ආහාරය කවරේද? එය නුනුවණින් මෙනෙහි කිරීම යයි කිව යුතුය. මහණෙනි, මම නුනුවණින් මෙනෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුනුවණින් මෙනෙහි කිරීමට ආහාරය කවරේද? එයට අශ්‍රද්‍ධාවයයි කිව යුතුය. මහණෙනි, මම අශ්‍රද්‍ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අශ්‍රද්‍ධාවට ආහාරය කවරේද? එයට සද්ධර්‍ම නොවූ දේ ඇසීමයයි කිව යුතුය. මහණෙනි, මම සද්ධර්ම නොවූ දේ ඇසීම ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්ධර්ම නොවූ දේ ඇසීමට ආහාරය කවරේද? එයට අසත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.
මහණෙනි, මෙසේ අසත්පුරුෂාශ්‍රය සම්පූර්‍ණ කළ තැනැත්තා, සද්ධර්ම නොවූ දේ ඇසීම සම්පූර්‍ණ කරයි. සද්ධර්ම නොවූ දෙය පුරවන්නේ අශ්‍රද්‍ධාව පුරවයි. අශ්‍රද්‍ධාව පුරවන්නේ, නුනුවණින් මෙනෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙනෙහි කිරීම පුරවන්නේ, සිහිය හා මනාව නොදැනීම පුරවයි. සිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්‍ද්‍රියයන්ගේ අසංවරය පුරවයි. ඉන්‍ද්‍රියයන්ගේ අසංවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය සම්පූර්‍ණ කළාහු, නීවරණ ධර්‍ම පස පුරවත්. නීවරණ ධර්‍ම පසේ සම්පූර්‍ණත්‍වයෙන් අවිද්‍යාව පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය මෙසේද සම්පූර්‍ණ වේ.
මහණෙනි, යම් සේ පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල්හි, වළාකුළු ගුගුරණ කල්හි, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පූර්‍ණවීම වේ.
මහණෙනි, එසේම අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්‍ණ කරන්නේ සද්ධර්ම නොවූ දෙය ඇසීම සම්පූර්‍ණ කරයි. සද්ධර්ම නොවූ දෙය ඇසීම පුරන්නේ, අශ්‍රද්‍ධාව පුරවයි. අශ්‍රද්‍ධාව පුරවන්නේ, නුනුවණින් මෙනෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙනෙහි කිරීම පුරවන්නේ, අසිහිය හා මනාව නොදැනීම පුරවයි. අසිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්‍ද්‍රිය අංසවරය පුරවයි. ඉන්‍ද්‍රිය අංසවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය පුරවන්නේ, නීවරණ ධර්‍ම පස පුරවයි. නීවරණ ධර්‍ම පස පුරවන්නේ, නොදැනීම පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය වේ. මෙසේද පිරෙන්නේ වේ.
මහණෙනි, මම විද්‍යාවන් නිසා ලබන විමුක්තියද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. විද්‍යාවන්ගෙන් ලබන නිදහසට ආහාරය කවරේද? බොධියෙහි අංගසතබොජ්ඣඞ්ගයයි කියමි. මහණෙනි, මම බොධියෙහි අංග සතද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. බෝධියෙහි අංග සතට ආහාරය කවරේද? සතර සතිපට්ඨානයයි කිව යුතුය. මහණෙනි, මම සතර සතිපට්ඨානයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සතර සතිපට්ඨානයන්ට ආහාරය කවරේද? සුචරිත තුනයයි කිව යුතුය. මහණෙනි, මම සුචරිත තුනද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ආහාරය කවරේද? ඉන්‍ද්‍රිය සංවරයයි කිව යුතුය. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය සංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව දැනීමයයි කිව යුතුය. මහණෙනි, මම සිහිය හා මනාව දැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සිහියට හා මනාව දැනීමට ආහාරය කවරේද? නුවණින් මෙනෙහි කිරීමයයි කිවයුතුය. මහණෙනි, මම නුවණින් මෙනෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුවණින් මෙනෙහි කිරීමට ආහාරය කවරේද? ශ්‍රද්‍ධාවයයි කිව යුතුය. මහණෙනි, මම ශ්‍රද්‍ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ශ්‍රද්‍ධාවට ආහාරය කවරේද? සද්‍ධර්‍ම ශ්‍රවණයයි කිව යුතුය. මහණෙනි, මම සද්‍ධර්‍ම ශ්‍රවණයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්‍ධර්‍ම ශ්‍රවණයට ආහාරය කවරේද? සත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.
මහණෙනි, මෙසේ සත්පුරුෂාශ්‍රය පුරන්නේ සද්‍ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්‍ධර්‍ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්‍ධාව පුරයි. ශ්‍රද්‍ධාව පිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පූර්‍ණවේ.
මහණෙනි, යම් සේ පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල්හි, වළාකුළු ගුගුරණ කල්හි, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පූර්‍ණවීම වේ.
මහණෙනි, මෙසේ සත්පුරුෂාශ්‍රය පුරන්නේ සද්‍ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්‍ධර්‍ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්‍ධාව පුරයි. ශ්‍රද්‍ධාව පිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පූර්‍ණවේ.

(අඞ්‌ගුත්‌තර නිකාය - දසක නිපාතය - යමක වර්ගය )

No comments:

Post a Comment